කිතුනු

ගබ්සාව පරදන කිතු උපත..

මිනිස් ජීවිතය දෙවියන් වහන්සේගෙන් අප ලබා ඇති උතුම්ම තිළිණයකි.  කිතුණු විශ්වාසයට අනුව ජීවිතය අපට දෙන්නේත් ජීවිතය අපෙන් ගන්නෙත් දෙවියන් වහන්සේමය. ජීවිතයේ කතෘ ඔවුන් වහන්සේ පමණය.

වර්ථමාන සමාජය දෙස බලන කළ එය උඩු යටිකුරු වි ඇත. එනම් ගබ්සාව අද වන විට සමාජ ව්‍යසනයක් බවට පත්වෙලා. තමන් තුල ඇති නූගත් කම, තම සබඳතාවල ස්ථිරත්වයක් නොමැති වීම තුල මෙය ඉතා බරපතල තත්වයකට පත්ව ඇත. අද වන විට ලෝකය තුල මිලියන 222 කාන්තාවන් ගැබ් ගැනිම වලක්වා ගැනීමට කටයුතු කරන අතර අවාසනාවකට වාර්ෂිකව මිලියන 26 සිදුවන ගබ්සාව තුළ ඉතිරිවන්නේ දහසකගේ ජීවිත පමණකි.

අනිකුත් සියළු දෙනාටම කුමක් හෝ රෝගාබාදයකට මුහුණ දෙනු ඇත. ඉතින් මෙය ව්‍යසනයක් නොවේද.? එමෙන්ම අප ලෝකය කෙතරම් බිලිගෙන තිබේද.? සමාජ සම්බන්දතා වලට කෙතරම් බලපෑමක් කර ඇත් ද.? විශේෂයෙන්ම දේව සැලැස්මට පටහැනි ලෙස  මිනිස් ජීවිත පිළිබඳ ආකල්පයන් වෙනස් වි ඇති ද. ?

අපි ටිකක් අතිතයට ගියොත් අප මරිය මාතාවන් ජීවත් වුන කාලයට එනම් ජුදා සම්ප්‍රදායට, එහි ප්‍රධාන නිතීන් අතර තිබු දෙයක් තමයි විවාහයට පෙර දරුගැබක් දරාසිටීමට නොහැකි අතර, එසේ වුවහොත් එම තැනැත්තියව ගල් ගසා මරා දැමීමට නිතියෙන් අවකාශය ලබා දී තිබිමයි. ඉතින් අප අවදානය යොමු කළ යුතු කාරණය වන්නේ එදා එම සමාජයේ ජීවත් වුන මරිය මාතාවන් එම තත්වයට මුහුණ දුන් ආකාරයයි.

දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුතුනුවන් තම විවාහයට පෙර තමන්ගේ කුසයේ දරා සිටින අවස්ථාවේ තමන්ටද එදා සමාජයේ ඒ කුරිරු දඩුවමට මුහුන දෙන්නට සිදුවන බව ඇය හොදින් දැනගෙන සිටින්නට ඇති අතර එවන් අවස්ථාවක වුවද මරිය මාතාවන් තම දරුවා එනම් දෙවියන්ගේ ඒක ජනිත පුතුනුවන් ආරක්ෂා කිරීමට කටයුතු කළා. ඉතින් එදා සමාජයෙන් ඇයට පැමිණි පීඩනයට ඇය මුහුන දුන්නා. දෙවියන් වහන්සේගෙන් ලැබුනු ඒ තිළිණය ආරක්ෂා කළා, ප්‍රධාන වශයෙන් දෙවියන් වහන්සේව විශ්වාස කළා, එතුමන්ගේ සැලැස්ම හදවතින්ම පිලිගත්තා. ඒ තුළ ජේසුස් වහන්සේව මේ ලෝකයට බිහිකර මුළු මහත් ලෝකයම මුදාවා ගැනීමේ දේව කර්තව්‍යට ඇයද හවුල් කාරිනියක් බවට පත් වුනා.

මෙවන් අවස්ථාවක් අද සමාජය තුළ සිදු වුවහොත් කුමකින් කුමක් සිදුවේ ද.? එසේ නම් දෙව් මවගේ එදා එ තේරුම් ගැනීම, එ විශ්වාසය, එ ශක්තිය අද සමාජයට විශාල අභියෝගයකි.

අපි අපේ රට තුළද මේ තත්වය ගැන සොයා බැලුවහොත්. දිනකට ගබ්සාවන් 700-1000 අතර සිදුවන බව ඔබ දන්නවා ද.?  මෙහිදි අප අවධානය යොමුකල යුතු ප්‍රධාන කරුණ වන්නේ මේ තත්වයට ගොදුරු වන්නේ අවු: 15-25 අතර වයස් කාණ්ඩයේ තරුණියන් බවය. ඉතින් සත්ව ඝාතනයට විරුද්ධව ගිනි තියාගැනිමටද සූදානම්  වන අප සමාජ නායකයින් දවසට මනුෂ්‍ය ඝාතන 700 ක් සිදුවන විට එය සදහා හඩක් නැගීමට , ඒ ගැටළුවට පිලියම් සෙවීමට ඉදිරිපත් නොවෙති. එය අප සමාජය ලබා ඇති මහත් අභාග්‍ය සම්පන්න තත්වයකි.

එසේ නම් කිතුනු ඔබට මට අද වන විට විශාල වගකීමක් පැවරි තිබේ. එනම් දෙවියන්ගේ උතුම් ම වු මැවිල්ල ආරක්ෂා කිරීමයි. ඒ වෙනුවෙන් තමන්ට හැකි අයුරින් හඩක් අවදි කිරීමයි. නවීන විද්‍යාව කුමකින් කුමක් කීවත් කාන්තාවක් තුළ පිළිසිඳ ගැනීමේ මොහොතේ සිටම මිනිස් ජීවිතය සහතික ලෙසම ගරුකර රැකගත යුතුය. අප එම උතුම් අදහස සමාජගත කල යුතුය.

වත්මන් ලෝකයේ මිනිස් ජීවිත පිළිබද සමහර උදවියගේ ආකල්පයන් මිනිස් ජීවිත පිළිබද දේව සැලැස්මට පටහැනිය. ගබ්සාව, නිර්වින්දිත මරණය, නවීන තාක්ශනය වගින් මිනිස් ජීවිත ජනනය කිරීම ආදිය අද ඉතා ජනප්‍රිය වීඇත. එහෙත් මෙවන් දේවල් අප ශුද්ධවු දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියතුමන් හුවාදක්වන්නේ “මරණයේ සංස්කෘතියේ” ප්‍රධාන ලක්ෂණ ලෙසයි. ඉතින් මෙවැනි සංස්කෘතීන්ට විරුද්ධව කටයුතු කිරීමට කිතුනු අප කැදවීමක් ලබා ඇති අතර මිනිස් ජීවිතය රැක ගැනීම අපගේ පරම යුතුකම කරගත යුතුය.

අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මිනිස් ජීවිතය දෙවියන්ගෙන් අපට ලැබුනු අගනා පොතකි. එම පොත අප පරිහරනය කර නැවත දෙවියන්ට ලබාදිය යුතු දවසක් ඇත. ඉතින් එම දිනයේදි එය කුරුටුගා, පිටු කඩා විනාස කරදීම අපගේ යුතුකම නොවන අතර එය ලබාගත් ලෙසම දෙවියන් වහන්සේ අතට පිරිසිදුව බාරදීම අපගේ පරම යුතුකමයි.

තම ලැජ්ජාව මකා ගන්න, තම නූගත් කම වසා ගන්න, තම වැරැද්ද සගවා ගන්න අහිංසක ජීවිතයක් බිලිදීම කෙතරම් සාධාරණද.? කෙතරම් යුක්ති සහගත ද.? එය අප නැවත නැවතත් සිතා බැලිය යුතු කරුණකි

එසේනම් මිනිස් ජීවිතය ශුද්ධවු දෙයක් බවත්, එය අති ශ්‍රේෂ්ඨ අගයක් බවත් අප සභාව උගන්වයි. මිනිස් ජීවිතය මත දෙවියන්ගේ පරමාධිපත්‍යය කෙලෙසීම කිසිම මිනිස් බලවේගයකට කළ නොහැක. මව් කුසේ සිදුවන මිනිස් ජීවිතයක සංසේචන සාරවත් බවේ මොහොතේ සිට එම මරණය දක්වා එය ගෞරවය ලැබීය යුතුය. ඉතින් අප දේවමාතාවන්ගේ  ජීවිත අභියෝගය සමාජයට පසක් කරදෙමින් නව සමාජයක්, මිනිස් ජීවිතයට ගරු කරණ සමාජයක් අප ගොඩ නැගිය යුතුය.

නැවත වතාවක් මතක් කර දෙන්නෙ.. එය අප ලබා ඇති කැදවීමයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + seven =

Back to top button