කිතුනු

ජුසේවාස් මුනිදුන් මෙන් වන්නට තරුණ ඔබටත් ආරාධනා

ශ්‍රී ලංකාවේ අපෝස්තුලුවරයා නමින් හදුන්වන්නේ ශුද්ධවන්ත ජුසේ වාස් මුනිදුන්‍ ය.එතුමානන්ගේ ජීවිත කැපකිරීම නොවන්නට ලංකාවේ අපිට කතෝලික සභාවක් ඉතිරිවන්නේවත්,කතෝලික ධර්මය අප දේශය තුල ස්ථාපිත වන්නේද නැත.ජේසුගේ ධර්මය ලක් පොලව තුල ස්ථාපනය කරන්නට ඔහු තුල තිබූ පිපාසය නොවන්නට අද අප කතෝලිකයන් නොවන්නටද බොහෝ සෙයින් ඉඩ තිබුනි.රෝස මල් යහනාවක් මැදින් නොව කටුපදුරු බාධක කම්කටොළු මැදින් ගමන් කරමින් දෙවියන් වහන්සේ තුල විශ්වාසයේ ගමනක ජීවත් වුන ජුසේ වාස් මුනිතුමාගේ ජීවිතය සැබවිනaම සියළුම තරුන තරුනියන්ට මහත් ආදර්ශයකි.

මව්කුසට එන්නටත් පෙර එතුමානන්ව ධර්මදූත කාර්යය සඳහා යෙදවීම දෙවියන් වහන්සේගේ කැමැත්ත විය.එදා ජූසේවාස් පියතුමා ලක්දිව පිලිබද දූත ගමන තීරණය කල මොහොතේදීම ඉන්දියාවේ ගෝවේ පියවරුන් ලක්දිව ගමනේ දුශ්කරතාව පිලිබදව ජුසේවාස් පියතුමන් දැනුවත් කර එහි නොයන ලෙසට ඉල්ලා සිටියේය.නමුත් දෙවියන් වහන්සේගේ දූතයෙක් ලෙස තෝරාගෙන සිටි ජුසේවාස් පියතුමානන් කුමන බාධක පැමිණියත් ලක්දිව ධර්මදූත කාර්යය අත්නොහරින බවට තීරණයක් ගෙන තිබුනේ කුමන බාදක පැමිණියත් දෙවියන් වහන්සේ තමන් සමඟම සිටින බවට තිබු මහත් විශ්වාසය නිසාය.ඒ විශ්වාසයේ ගමන සැබවින්ම අප වර්තමාන තරුණ තරුණියන්ට මහත් ආදර්ශයකි.

අකමැත්තෙන් හෝ ගෝවේ පියවරුන් කැමති කරවාගත් ජුසේවාස් පියතුමා ඉන්දියාව අතහැර ලක්දිවට පැමිණීමට නෞකාවකට නැග්ගත් ඒ නෞකාව අතරමගදි චන්ඩ මාරුතයකට හසුවිය.නමුත් දෙවියන් වහන්සේ තුල විශ්වාසයේ ගමනක් තුල සිටි   ජුසේවාස් පියතුමdන් හා එතුමාගේ ගෝලයා එම අවස්තාවේදී දේව සංරක්ශනයට නතු විය.කෙසේ හෝ ලී කොටයක එල්ලි බොහොත් දුශ්කර ගමනකින් පසුව ලක්දිවට පා තැබීය.කෙසේ වුවත් ලක්දිව ගමන තවත් දුශ්කර විය.නෞකාව මුහුදුබත්වීමෙන් පසුව ලී කොටයට එල්ලී මුහුදු රලත් සමඟ ගැටෙමින් වෙරළට පැමිනි ගමන බොහෝ සෙයින් වෙහෙසකර වේදනාකාරි අත්දැකීමක් විය.ජුසේවාස් පියතුමන්ගේ සේවක ජෝසප් පියතුමාට වරක් නොව කීප වරක්ම පැවසුවේ මේ ලක්දිව හැර ඉන්දියාවට නැවත යමුයි කියාය.නමුත් දෙවියන් වහන්සේ තුල විශ්වාසයේ ගමනක් ඇරඹි එතුමා තව තවත් දෙවියන් වහන්සේව විශ්වාස කරන්නට පටන් ගත්තේය.

නමුත් චන්ඩ මාරුතය හා පොරබැදි ඔවුන් මහත් සේ වෙහෙසට පත්වී සිටියහ.ඇවිදගන්නටවත් ශක්තියක්වත් ජුසේවාස් පිය තුමන් සතුව නොවීය.නමුත් නැවත වරක් දේව සංරක්ශනයට නතු වූ ජුසේවාස් පියතුමාව මන්නාරම ප්‍රදේශයේ  දමිල ගම්මානයේ දමිල කාන්තාවක් විසින් ආහාර දී පෝශණය කරන්නට පටන් ගත්තේය.දෙවියන්වහන්සේ තුල විශ්වාසය වර්ධනය කරගත් ජුසේවාස් පියතුමන්ව කාන්තාවක් මාර්ගයෙන් ආරක්ශා කරගත් ආකාරය අපට පෙන්වන්නේ ජීවිතයේ පීඩාකාරී අත්දැකීම් පැමිණියත් දෙවියන් වහන්සේ තුල තව තවත් විශ්වාසයෙන් සිටිය යුතු බවත් දෙවියන් වහන්සේ එවිට ඔබව ආරක්ශා කරන බවත්‍ ය.එය අප තරුණ තරුණියන්ට දෙවියන් වහන්සේ තුල මහත් විශ්වාසයෙන් සිටීම කෙතරම් ප්‍රබලද යන්න පෙන්වයි.

ඉන්දියාවේ ගෝව නගරයේදී පහසුවෙන්ම ධර්ම දූත කාර්යයෙහි නිරත වීමට ජුසේවාස් මුනිතුමාට අවස්තාව තිබුනත් දේව සැලැස්මට එතුමා යටත්වී දෙවියන් වහන්සේ ලබාදුන් ලක්දිව දුශ්කර දූතකාර්යෙහි නිරතවීමට තීරණය කිරීම සැබවින්ම අප තරුණ තරුණියන්ට මහත් ආදර්ශයක් ය.දෙවියන් වහන්සේ ඔබට ලබාදුන් ධර්මදූත කාර්යය එක සිතින් බාරගත් ජුසේවාස් පියතුමන් ඔබට මට ආරාධනා කරන්නේ දෙවියන් වහන්සේ ඔබට මට පවරන දේව සේවය කුමක් වුවත් එය දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඒ දූත කාර්යය බාරගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉශ්ඨ කරන්නට උත්සහයක් ගන්න කියාය.

ජුසේවාස් පියතුමා ලක්දිව ධර්මදූත ගමන ඇරබීමත් සමඟ මන්නාරම ප්‍රදේශයේ සිටි කුඩා කතෝලික කන්ඩායම් එකතුවීමට පටන් ගත්තේය.දෙවියන් වහන්සේ තුල විශ්වාසයේ ගමනක ජීවත් වුන ජුසේවාස් පියතුමන් උතුරු පලාතේ සිටි දමිල කිතුනු කන්ඩායම් එකතු කර කතෝලික ධර්මයෙන් ඔවුන්ව පෝශනය කරමින්ද, දිව්‍ය පූජාවන් පවත්වමින්ද දේව සේවයේ නිරතවිය.

ජුසේ වාස් පියතුමන් ලක්දිව ධර්මදූත කාර්යයෙහි නිරතවනවිට දිව්‍යපූජා අතරමැද වුවත් සාතන්ගේ බාදකයන් පැමිනීම සුලභ සිදුවීමක් විය.එවකට ලක්දිව මුහුදුබට ප්‍රදේශ පාලනය කල ලන්දේසීන් දිව්‍ය පූජා අතරමැදට පැමිණ ඒවාට බාධා කලේ ඔවුන් දැඩිසේ කතෝලික ආගමට එරෙහි වූ නිසාය.ඔවුන් ජුසේවාස් පියතුමන්ටද තර්ජනාත්මකව අභියෝගයක් එල්ල කලේ ධර්ම ප්‍රචාරය නවත්වන ලෙසට බලකරමින්‍ ය.නමුත් දෙවියන් වහන්සේ තුල ශක්තිමත් පදනමක් සහිතව දූත කාර්යය ආරම්භ කල ජුසේවාස් පියතුමානන් හොර රහසේම ධර්මය ප්‍රචාරණය කලේය.

කුමන පීඩන පැමිනියත් එතුමා දෙවියන් වහන්සේ තුල නොනවතින දූත මෙහෙවරක නිරතවීම වර්තමාන තරුණ තරුණියන්ට මහත් ආදර්ශයක් ය.වර්තමානයේද අප කතෝලික සභාව මුහුන දෙන ප්‍රබල අභියෝගයක් වන්නේ කතෝලික ක්‍රිස්තු දේහයෙන් වෙන්වූ වෙනම සභාවන් පිහිටුවාගත් පුද්ගලයන් අප පලමු කතෝලික සභාවට අභියෝග කරනවා සේම,අප තරුණ තරුණියන්ට ද ඔවුන් අභියෝග කරමින් සිටී.ඔවුන් අප කතෝලික තරුණ තරුණියන් ඔවුන් වෙත ඈදාගැනීමට තරම් සූක්ශමව ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ජූසේවාස් පියතුමන් මෙන් ඔවුන්ගේ බාධක මැඩගෙන කතෝලික සභාව ආරක්ශා කර ගැනීමටත් අප සහෝදර සහෝදරියන්ව කතෝලික සභාව තුලම රදවා ගන්නටත් අප උත්සාහා කල යුතුය.

කෙමෙන් කෙමෙන් ලක්දිව මුහුදු බඩ ප්‍රදේශයන්හී ගරා වැටී තිබු කතෝලික දේවස්තාන ප්‍රතිසංස්කරණය කර ගොඩනැගීමට එතුමාට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබුනි. ඉන්පසු මධ්‍යම කදුකරය පෙදෙසට තම ධර්මදූත කාර්යය මෙහෙයවූ ජුසේවාස්  පියතුමන්ට නොසිතු නොවිරූ ආකාරයෙන් කරදරයන්ට මුහුණ දීමට සිදුවිය.

පලමුව ලන්දේසී ඔත්තූකාරයෙක් යයි සිංහලයන් විසින් සැක කරනු ලැබූ ජුසේවාස් පියතුමන්ව සිරභාරයට ගන්නා ලදී.නමුත් එය ඔහුගේ ධර්මදූත සේවයට බාධාවක් නොවීය.එකල මධ්‍යම කදුකරයට මෙන්ම මුළු ලක්දිවම මහා නියගයකින් පිඩා විදිමින් සිටියහ.වැස්ස ලබා ගැනීමට විව්ධ යාගයන් බලි තොවිල් හා පිරිත් කීම ආදිය සිදු කලද එයින් කිසිදු ප්‍රතිපලයක් නොවීය.නමුත් ලක්දිව රජුට තිබු හැකි අවසාන බලාපොරොත්තුව වූයේ ජුසේවාස් පියතුමන්‍ ය.රජු පැවසුවේ හැකිනම් ඔබේ දෙවියන්ට කියා හෝ වර්ශාව ලබාදෙන්න කියාය.තමන් සතු වූ කුරුසය මන්ඩපයකින් තබා දේව විශ්වාසය ආයුධයක් කරගත් ජුසේවාස් පියතුමන් දෙවිදුන් යදින්නට පටන් ගත්තේය.නොකඩවා යාඤාව කෙතරම් ප්‍රබලද කිවහොත් ජුසේවාස්මුනිතුමන්ගේ යාඤාවට ඇහුම්කන් දුන් දෙවියන් වහන්සේ මහා වර්ශාවක් ලබාදුන්නේ තම යටත් පහත් කීකරු සේවකයාගේ හඩට ඇහුම්කන් දෙමිනි.ප්‍රදේශයම වර්ශාවෙන් පෝශනය වී ගංඟා පිරී නැවතත් සියළුදෙනාට ජලය ලැබුනි.

ජුසේ වාස් මුනිතුමන් දෙවියන් වහන්සේ තුලින් ප්‍රකාශ කල අතිශයින්ම ප්‍රබල පලමු ප්‍රාතිහාර්යන් මෙයයි.දෙවියන් වහන්සේ තුල යටහත් පහත් වෙමින් විශ්වාසයෙන් සිටින පුද්ගලයාගේ නොකඩවා යාඤාවට දෙවියන් වහන්සේ හොදින් ඇහුම් කන් දෙන බවටත්,නිසි කාලයේදී පිලිතුරු ලබා දෙන බවටත් මෙම සිදුවීමෙන් නැවත වරක් තහවුරු වෙයි.අප වර්තමාන සමාජයේද අපත් ජුසේවාස් පියතුමන්ගේ ආදර්ශයන් අපේ ජීවිතයටත් ශක්තියක් කරගත යුතුය.එය සැබවිනම අප තරුණ තරුණියන්ගේ ජීවිත ගොඩානගාගැනීමට මහත් පූර්වාදර්ශයකි.දේව යැදුම අප ජීවිතය තුල ප්‍රබලව ක්‍රියාත්මක වන්නට නම් අපිත් ජුසේ වාස් මුනිතුමන් මෙන් දේව සැලැස්මට යටහත් පහත්ව විශ්වාසයෙන් දෙවිදුන් යැදීම කල යුතුවේ.

එම ප්‍රාතිහාර්යත් සමගම කන්ද උඩරට රජු වර්ශාවේ සියළු ගරුත්වය ජුසේවාස් පියතුමන්ට පිරිනැමීය.නමුත් ජුසේවාස් පියතුමන් කෙතරම් නිහතමානිද යත් ඔහුට හිමි වූ ගරුත්වය හා ස්තූතිය හිමි විය යුත්තේ තමන්ට නොව මහෝත්තම දෙවියන් වහන්සේට බව එක හෙලාම ප්‍රකාශ කලේය.එය සැබවින්ම අප වර්තමාන පරපුරටම සැබෑ ආදර්ශයක්ම වන්නේය.

සියල්ල සාර්ථක වන විට එහි ස්තූතීය හා ගරුත්වය අපට නොව මහොත්තම දෙවියන් වහන්සේට පුද කිරීමට අපිට හැකියාවක් තියෙනවාද? නැත්නම් අපිම ගරුත්වය තියාගන්නවාද? එසේ නම් සියල්ලෙහිදීම දෙවියන් වහන්සේට ස්තූතී කිරීමටත්,ගරුත්වය පුද කිරීමටත් ජුසේවාස් පියතුමන්ගේ ජීවිතයෙන් ආදර්ශයක් කරගත යුතුය.වර්ශාවත් සමඟ නියං තත්වය අවසන් වූ පසු ජුසේවාස් පියතුමන්ට කන්ද උඩරට මහ රජුගේද අනුග්‍රහය හිමි විය.දෙවියන් වහන්සේගේ රාජ්‍ය ශක්තිමත් කිරීමට කතෝලික ජනතාව දහමින් පෝශනය කිරීම දේව කැමැත්තට අනුව දිගින් දිගටම ඉදිරියටම රැගෙන ගිය ජුසේවාස් පියතුමා දෙවියන් තුල තිබූ විශ්වාසය තව තවත් වැඩිකරගත්තේය.

ලක්දිව කිතුණු සංඝය තවදුරටත් බෙලහීන සභාවක් නොවීය.ජුසේවාස් පියතුමන් ලක්දිව සෑම දෙසකටම කිතු දහම පතල කිරීමේ ප්‍රතිපලයක්  ලෙස ගරාවැටී තිබුන  කිතුණු සමාජය නැවතත් ගොඩනැගෙමින් ඉහලට එසවෙමින් පැවතුනි.එකල කන්ද උඩරට මහා වසංගතයක් පැතිරුණි.එනම් වසූරිය නම් බියකරු වසංගත රෝගය එම ප්‍රදේශය පුරා පැතිර ගියේය.එහි සිටි සියළුම ජනතාව එම ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශයන් වලට ගියහ.ඉතිරි වූයේ වසංගත රෝගයට බිලි වූ රෝගී මිනිසුන් පමණකි.

 

නමුත් එම රෝගී මිනිසුන් තනි නොකලා ජුසේවාස් පියතුමා එම රෝගී ජනතාවට සත්කාර කරමින් කාරුණිකව ඒම රෝගී මිනිසුන්ව රැකබලා ගනිමින් වසංගතයට මුහුන දුන්නේ දෙවියන් වහන්සේගේ ආදරය කරුණාව තනිවුන අසරණ වුන රෝගී වුන මිනිසුන්ට සැබෑ ලෙසින්ම දැනෙන්නට සලස්වමින්‍ ය.අපි තරුණ තරුණියන් ලෙස සිතා බලමු අසරණව පීඩාවට පත්වෙලා දුකෙන් ඉන්න මිනිසුන්ව ජූසේවාස් මුනිතුමා තනි නොකලා වගේ තනි නොකර දෙවියන්වහන්සේගේ ආදරය ලබාදෙන්නට අපිට හැකි වුනාද කියලා.එසේ නම් සැබවින්ම අප කල යුත්තේ එයයි.ජුසේවාස් මුනිතුමන්ව ආදර්ශයට අරගෙන දෙවියන් වහන්සේගේ ආදරය සෑම මනුශ්‍යයෙකු වෙතටම රැගෙන යාමයි.

ඒ වනවිටත් ජුසේවාස් පියතුමා ලක්දිව සිදුකල අතිශය බලගතු ධර්මදූත සේවාව හා ප්‍රාතිහාර්ය පිලිබද දැනුවත්ව සිටි ගෝව නගරයේ සිටි පියවරුන් ලක්දිවට තවත් පියතුමකු එව්වේය.නමුත් ජුසේවාස් පියතුමන් හා සේවය කරමින් සිටියදී වසුරිය වැළදී ඔහු මිය ගියේය.කෙසේ හෝ තමන්ගේ දූත මෙහෙවර දිගටම රැගෙන ගිය ජුසේවාස් පියතුමන් ඒ වනවිටත් ශරිරයෙන් දැඩි සේ රෝගාතුරව හා වියපත්ව සිටියේය.නැවතත් ක්‍රියාත්මක වූ ඉන්දියාවේ ගෝව නගරයේ පියවරුන් තවත් පියතුමකු ලක්දිවට එවිය.එතුමා ගොසාල්වේස් පියතුමාය.ගොන්සාල්වේස් පියතුමන් ලක්දිවට එනවිට තම දූත කාර්යයෙහි උපරිමයටම ගොස් සිටි ජුසේවාස් පියතුමා තමන් ලක්දිව දූත කාර්යය ගොන්සාල්වේස් පියතුමාට භාරදුන්නේය.මුල සිට අවසානය වනතෙක් දේව සැලැස්මට අවනතවූ ජුසේවාස් පියතුමන් ස්වර්ගස්තවූයේ මුළු ලක්දිවම දේව ආලෝකයෙන් ආලෝකමත් කල අන්දකාරය බිද දමා යලිත් ගොඩ නැගුන ආලෝකමත් කිතු සභාවක් අප සැමට උරුමකර දෙමිනි.ජුසේවාස් පියතුමන්ගේ බලගතු ධර්මදූත කාර්යය ඉදිරියටම ගෙන යාමට ගොන්සාල්වේස් පියතුමන්ට හැකියාව ලැබුනි.

වර්තාමාන සමාජයේ තරුණ තරුණියන්ට මෙතුමානන්ගේ ජීවිතයෙන් ආරාධනා කරන්නේ තවත් ජුසේවාස් කෙනෙකු වන්නට කියාය,ලක්දිව කිතුනු සභාව ශක්තිමත් කරන ධර්ම දූතයකු වන්නට කියාය.

විශ්ව කතෝලික සභාවේ ශ්‍රී ලංකාවේ පලමු සාන්තුවරයා වන ශුද්ධවනaත ජුසේවාස් පියතුමානන්ගේ ආදර්ශවත් ජීවිතය ඔබට මට ආරාධනා කරන්නේ දේව සැලැස්මට අවනත වෙමින්,දෙවියන් වහන්සේ තුල නිහතමානි වෙමින්,  විශ්වාසයේ ජීවිතයකට ඇතුළුවන්න කියාය.එසේම ජුසේවාස් මුනිදුන් වැනි සියලුම අසරන මිනිසුන්ට සරණය වන,කිසිදු අභියෝගයක් වේදනාවක් කරදරයක් මැද නොසැලී දේව විශ්වාසය තුලම යාඤාවෙහි යෙදෙමින් ලක් දිව කිතු සසුන ශක්තිමත් කරන තවත් ජුසේවාස් කෙනෙකු වන්නට කියාය.ඒ සඳහා තරුණ ඔබ සැමට ආරාධනා.

 

“ වන්දනීය වූ පූජනීය වූ

ජුසේවාස් දම්ම – දූත පුදදුරානෙනි.

ධීර වීර වූ ඔබේ –  දහම් සේවයේ

අනුහසින්

මේ ලක්බිම අපේ එලිය වේ. ”

  • විශාන් දිළුමික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − ten =

Back to top button