කිතුනු

ලංකා අප ස්වාමි දු ප්‍රතිමාව

ලංකා අප ස්වාමිදුව ලෙස විශේෂ අපටම ආවේණික දෙවමාතා ප්‍රතිමාවක් නිර්මාණය කිරීම කාදිනල් කුරේ හිමිපාණන් ගේ සිත්ගත් ඉතා වැදගත් කරුණක් විය.මේ කාලය තුල දේශීය කිතුණු කලාවක් ගොඩනැගීම ගැන නොයෙක් කථා පැවතිනි. කිතුණු දේශය චිත්‍ර කලා පෙරදිග රටවල ජපානය, භාරතය, චීනය, කොරියාව වැනි රටවල පැතිරෙද්දී රෝමයේ ධර්ම ප්‍රචාරක කාර්යංශයේ අති උතුම් කොන්ස්ටන්ටනී කාදිනල් හිමිපානන් වැනි සභා නායකයන් එයට අනුබල දෙද්දී අපටත් දේශීය වස්ත්‍ර පැලදගත් දේවමාතා ප්‍රතිමාවක් නරකදැයි ප්‍රශ්ණ කරන ලදි. එහෙත් දූරදර්ශිව හා පුළුල්ව කල්පනා කල කාදිනල් කුරේ හිමිපාණන්ට අවශ්‍ය වූයේ රටේ බාල, මහළු, සිංහල, දෙමළ සියළු දෙනාට එකසේ පිළිගෙන ගෞරවයට පාත්‍ර කල හැකි ප්‍රතිමාවක් නිර්මාණය කිරිමයි. මේ කාලයේදිම පාතිමා අප ස්වාමි දූ සංචාරක ප්‍රතිමාව දිවයිනට ගෙන එනු ලැබුවේය. ක්‍රිස්තු වර්ෂ 1950 දි ගෙනෙන ලද මෙම සංචාරක ප්‍රතිමාව මාස 5 තුළ දිවයිනේ සිව් දිග සංචාරය කල අතර එය කෙරෙහි අප කතෝලික සැදැහැවතුන් තුල විශේෂ භක්තියක් ඇති විය. මෙය මැනවින් වටහගත් කාදිනල් කුරේ හිමිපාණන් මෙහි රූප ලක්ෂණ පදනම් කොට ගෙන ලංකා අප ස්වාමි දූ ප්‍රතිමාව සැලසුම් කරන්නට ඉටා ගත්හ. මෙය හුදෙක් පාතිමා ප්‍රතිමාවම අනුකරණය නොකොට අප ප්‍රතිමාව ජනතාවට වඩාත් සමිපවත් හා අර්ථවත් වන ලෙස අපටම ආවේණික ලක්ෂණ රැසක් එයට සම්බන්ධ කරන ලදි.

මෙම ප්‍රතිමාව නිමවන ලද්දේ දේවදාර ලීයෙන්ය. අද දිවයිනේ ජාතික පුෂ්පය බවට පත්වි ඇති නාමල් තුනක් සහිත කිනිත්තක් ප්‍රතිමා පාදමට එක් කරන ලදි. (මේ වන විට නාමල ජාතික පුෂ්පය ලෙස අනුමත වි පිළිගෙන නොතිබුණි) මෙයින් සංඛේතවත් වූයේ දිවයිනේ ආවේණික මල් පුදා මුළු හදවතින් ලාංකික කතෝලික ජනතාව මෑනියන්ට ගරු කරන බවයි. එසේම සුදෝ සුදු නාමල මෑණියන්ගේ නිර්දෝෂ බවත් වසර පුරා නීල වර්ණයෙන් පවතින නාගසේ කොල ඇගේ කුමරි බවත් සංකේතවත් කරයි තවද නා ගසේ තද ලීය ස්වර්ගාරෝපණයෙන් ප්‍රකාශ වූ මෑණියන්ගේ අමරණීය බව හා අජරාමර බව සංකේතවත් කරයි. මීට අමතරව මෑණියන්ගේ දෑතේ ජේසු බිළින්දුන් තබන ලදි. ජේසු බිලිදානන් අප වෙත සුරත දිගු කොට ජපමාලය පෙන්වයි. උන් වහන්සේ අනෙක් අත දිගු කොට අපට දන්වන්නේ තම මෑණියන්වයි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නිතර ජපමාලය උච්ඡාරණය කරන ලෙස මෑණියන් අපට ආරාධනා කරන බවත් එසේ කරන අය දේව මාතාවන් වහන්සේ තම ජේසු බිලිදුන් මෙන් තුරුලේ හොවා වැළද ගන්නා බවත්ය. අප දේව මාතා ප්‍රතිමාවේ ජේසු සමිදුන්ගේ හස්තය මත රදවා ඇත්තේ හයවැනි පාවුලූ පාප් වහන්සේ 1970 දෙසැම්බර් 04 වැනිදා දිවයිනට වැඩම කල අවස්ථාවේ මේ සදහා තෑගි කරන ලද ජපමාලයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + sixteen =

Back to top button