කිතුනු

ලංකා අපෝස්තුළුවරයාණන් මිහිදන් කළේ කොතැනද




ලංකා අපෝස්තුළුවරයාණන් මිහිදන් කළේ කොතැනද

ලංකා අපෝස්තුළුවර ශු. ජුසේ වාස් මුනිතුමන් පිළිබඳ අපගේ සැදැහැවතුන් අතර කතිකා වන සහ අවධානයට ලක්වූ ප්‍රබල මාතෘකාවක් ලෙස එතුමන් මිහිදන් කළ ස්ථානය පිළිබඳව විවිධ වූ අදහස් හා මතිමතාන්තර උධෘත කර ඇත. ඓතිහාසික තොරතුරු හා වාර්තාවන් ඔස්සේ ජුසේ වාස් මුනිතුමන් මිහිදන් කළ ස්ථානය අද පවා අපට සොයා ගත නොහැකි වී තිබීම අප ලක්වැසි කතෝලික අප මහත් සේ සිත් පීඩාවට ලක් කරන කරුණකි. සාන්තුවර භාවයට පත් කිරීමට එතුමන්ගේ සිරුර අත්‍යවශ්‍ය සාධකයක් ද? යන ප්‍රශ්නය
බොහෝ සැදැහැවතුන් අපගෙන් අසා සිටීයි. වත්මන් සාසනික නීති සංග්‍රහයට අනුව ඇතැම් බොහෝ සාන්තුවර චරිත ශුද්ධවර භාවයට පත් කර ඇත්තේ ඔවුන්ගේ සිරුරු නොමැතිව බව ද වටහා ගත යුතු කරුණකි. වඩා වැදගත් වනුයේ එතුමන්ලාගේ සොහොන් ගැබ්, ශු. ධාතු නොව එතුමන්ලා අද්විතීය සහ අසමසම ජිවිතය තුළ ස්වාමින් වහන්සේ සමග ඒකාබද්ධ වූ ආකාරය පිළිබඳ අපගේ අවධානයට ගෙන ඒ අනුව අපගේ ජිවිත ස්වාමින් වහන්සේ සමග ඒකාබද්ධ කරගැනීමය. ජුසේ වාස් මුනිතුමන් ඉදිකළ මහනුවර දේවස්ථානය තිබුණේ කොහේද ?

මහනුවර ඉදිකළ පළමු දේවස්ථානය ඉදිකරන ලද්දේ තෙවන වික්‍රමබාහු හෙවත් ජයවීර බණඩාර රජු ක්‍රි.ව. 1546 මාර්තු මස 09 වන දින රාත්‍රියේ දොම් මනුවෙල් නමින් ප්‍රැන්සිස්කාන නිකායික ගරු ප්‍රැන්සිස්කෝ මොන්තෙප්‍රන්දෝනෝ පුජාප්‍රසාදීතුමන් අතින් බෞතිස්ම ස්නාපනය ලබා ගන්නා ලදී. එහෙත් ඔහු නැවතත් සුපුරුදු පරිදි මිථ්‍යාදෘෂ්ටිකවම ජීවත් විය. එහෙත් ඔහු කතෝලික පුජාප්‍රසාදීවරුන් හට අනුග්‍රහය දක්වන ලදී. මේ නිසාම රජු විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක ප්‍රැන්සිස්කාන නිකායික ගරු පස්කොල් සහ ගොන්සාලෝ යන පුජාප්‍රසාදිවරුන් විසින් ක්‍රි.ව. 1547 දී ” නිර්දෝෂ මරියෝත්තමාවන් ” නමින් දේවස්ථානයක් ඉදිකරන ලදී. මෙම දේවස්ථානය පැවතුනේ දෙවසරක් පමණ වන අතර සිවිල් යුදමය තත්ත්වයක් තුළ එය විනාශ විය. ඉන්පසුව ක්‍රි.ව. 1562 දී පළමු ජයවීර බණ්ඩාර රජුගේ මරණින් පසුව ඔහුගේ පුත් දෙවන ජයවීර බණඩාර හෙවත් කරලියද්දේ බණ්ඩාර රජු විසින් මහනුවර නගරයේ දෙවන දේවස්ථානය ඉදිකළ අතර එය ද පෙර පරිදි ම ” නිර්දෝෂ මරියෝත්තමාවන් ” නමට කැපකරන ලදී. එය වසර 20ක කාලයක් පැවති අතර ක්‍රි.ව. 1582 දී පමණ සීතාවක රාජසිංහ රජු මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ දී විනාශ විය. මෙහි තෙවන දේවස්ථානය ක්‍රි.ව. 1588 දී යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් රජු විසින් ඉදිකළ අතර කොනප්පු බණ්ඩාර හෙවත් පළමු විමලධර්මසූරිය රජු විසින් දියත් කරනු ලැබු ආක්‍රමණය හේතුවෙන් මේ දේවස්ථානය විනාශ විය. එයද ” නිර්දෝෂ මරියෝත්තමාවන් ” නමට විය. ක්‍රි.ව. 1594 ජුලි මස 06 වන දින කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණිය වු කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා රැජින විසින් මහනුවර ” නිර්දෝෂ මරියෝත්තමාවන් ” නමින් කැපවු සිව්වන දේවස්ථානය ඉදිකරන ලදී. මේ දේවස්ථානය පැවතුනේ වසරක කාලයක් පමණි. ඉන්පසුව මහනුවර ඉදිකරන ලද පස්වන දේවස්ථානය කැපකරන ලද්දේ ” නිර්දෝෂ මරියෝත්තමාවන් ” නමින් ” යහපත් ජේසු සමිදාණන් ” හෙවත් ” බොම් ජේසු ” නමිනි. කෙසේ හෝ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා අගරැජිණගේ මරණයත් සමගම මේ දේවස්ථානය විනාශ වූ අතර මේ දේවස්ථානය විනාශ වූ අතර ක්‍රි.ව. 1694 දී එනම් වර්ෂා ප්‍රාතිහාර්යයට පෙර ජුසේ වාස් මුනිතුමන් විසින් ඉදිකළ අතර එය මිථ්‍යාදෘෂ්ටිකයන් සත්‍යාගමට හැරවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලදී. ( පෙරේරා . එස්. ජී. ( ජේසු නිකායික ) පියතුමා , ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවර ශු. ජුසේ වාස් මුනි ජීවන චරිතය , පිටු 92 )

මේ දේවස්ථානය ආශ්‍රිතව ජුසේ වාස් මුනිතුමා විසින් ක්‍රි.ව. 1697 සැප්තැම්බර් මාසයේ සිට 1698 මාර්තු මස දක්වා වූ කාලයේදී මුළු මහනුවර ම අමුසොහොනක් වූ වසූරිය වසංගතය අවස්ථාවේ දී රෝහලක් පවත්වා ගෙන යමින් රෝගින් හට ඇප උපස්ථානය කරමින් මිය මළසිරුරු මිහිදන් කරමින් එතුමාණෝ ස්වාමින් වහන්සේගේ ශු. සුභාරංචිය මාංශගත කළ සේක. ක්‍රි.ව. 1699 මාර්තු මාසයේ අවසාන දින කීපය තුළ ජුසේ වාස් මුනිතුමා ධර්මදුතික මෙහෙවර සදහා සීතාවක ප්‍රදේශයේ සිටි සමයේදී මහනුවර දේවස්ථානය එක්තරා කැරලිකාර පිරිසක් විසින් විනාශ කොට එහි නේවාසිකව විසු ගෝවේ ඔරතෝරියාන නිකායික ගෞ. ජෝශප් කර්වල්හෝ පුජාප්‍රසාදීන්වහන්සේ පන්නා දමන ලදී. නැවත වරක් දෙවන විමලධර්මසූරිය රජුගේ අවසරය මත නැවත වරක් මහනුවර දේවස්ථානය ක්‍රි.ව. 1699 සැප්තැම්බර් මාසයේ දී එනම් පස් මසක් ඇතුළත ඉදිකොට සැප්තැම්බර් මස 08 වන දින එනම් මරියෝත්තමාවන්ගේ උපන් මංගල්‍යය දින දී ආසිරි ගන්වා විවෘත කරන ලදී.

මේ දේවස්ථානය පිහිටි බවට සැලකෙන්නේ ජුසේ වාස් මුනිතුමන් හට ඉමහත් අනුග්‍රහයක් දැක්වු අන්තෝනියෝ ඕර්ටා විසින් පරිත්‍යාග කරන ලද භූමියක ය.

ඔහු ප්‍රබල විශ්වාසයකට සාක්ෂි දැරූ කතෝලිකයෙකි. ඔහු මහනුවර කතෝලික සංඝයේ මුහුප්පු ධූරය දැරූ අතර එය මහනුවර නගරයට දකුණු දෙසින් පිහිටි ස්ථානයක් විය. එය බහිරව කන්ද පාමුල පිහිටි ස්ථානයක් විය. එය හුදකලා ස්ථානයක් වූ අතර ඒ අසල පුජක නිවාසයක් ඉදිකරන්නට ද හැකිවිය.

එය බහිරව කන්ද පාමුල විය. ඒ අසලින් වූ කටුකැලේ පාර සහ බහිරව කන්ද ජනශුන්‍ය ප්‍රදේශයක් විය. ගෝවේ ඔරතෝරියාන වාර්තාව වලට අනුව එය හුදකලා ස්ථානයක් වූ බැවින් ජුසේ වාස් මුනිතුමන් හට දේවස්ථානයක් සහ පුජක නිවාසයක් ද රෝහලක් ද ඉදිකිරිමට හැකි වුණි. එය බහිරව කන්ද පාමුල විය. තවද ඊට යාබඳව මුහුදු බඩ පෙදෙසින් පැමිණි කතෝලික ජාඩි, කරවල සහ ලුණු වෙළෙඳූන් තම කුඩා වෙළෙඳ පොළවල් පිහිටුවා ගෙන, ඒ අවට වෙළෙඳාමේ යෙදෙන්නට ඇතැ’යි ද සදහන් වේ.

මේ දේවස්ථානය ශ්‍රී කුරුසියක් ස්ථාපිත කර තිබුණි. සෑම ධර්මදුතික මෙහෙවරක් සදහා පිටත් යෑමට පෙර එතුමාණෝ මේ ශ්‍රී කුරුසිය ඉදිරියේ ශු. මාක් සුභාරංචියේ සදහන් ” මුළු ලෝකය වෙත යමින් …” යන වචන උච්චාරණය කරන්නට එතුමා පුරුදුව සිටියේය.

තවද ඒ කාලයේ දී රජමාළිගයේ සිට බෝගම්බර ගල් පාලම හරහා ගන්නෝරුව තෙක් , දිවෙන මාර්ගයේ යටි නුවරට නුදුරින් ජුසේ වාස් මුනිතුමා විසින් ඉදිකරන ලද දේවස්ථානය පිහිටා තිබුණි. ඇසල මහා පෙරහැර නිමවී දිය කැපීමේ චාරිත්‍රයට රජතුමා සහභාගී වූයේ මේ අසලින් බව ද කියැවේ. එක් වරෙක ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු පෙරහැරකින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන කළ ජුසේ වාස් මුනිතුමා රෝගාතුරව ඔත්පලව සිටි නමුත් රජුට ආචාර කිරීම සදහා දේවස්ථානය ඉදිරියට පැමිණි අතර , රජු ද ජුසේ වාස් මුනිතුමා කෙරේ ගෞරවයෙන් පෙරහැර මදකට නවත්වා ජුසේ වාස් මුනිතුමා ආපසු මීසම් ගෘහයට යන තෙක් සිටි බව සදහන් වේ. මහනුවර රජමාළිගය අභිබවා කිසිම ගොඩනැගිල්ලක් ඉදි කිරීමට එකල අවසර නොදී තිබු බැවින් ජුසේ වාස් මුනිතුමා විසු දේවස්ථානය සහ මීසම් ගෘහය ද රජ මාලිගය පෙනෙන තෙක් මානයේ සිටි බව ද කියැවේ. දිනපතා දිව්‍ය පූජාවෙන් හා භාවනාවෙන් ද අනතුරු ව ජුසේ වාස් මුනිතුමා එහි වූ ගෙවත්තේ මඳ වේලාවක් වැඩ කිරීමට පුරුදු ව සිටි බව සදහන් වේ.

අප අපෝස්තුළුවරයාණන්ට ගරු බුහුමන් පුද කළ මහනුවර අවසාන සිංහල බෞද්ධ රජතුමා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ දවස පටන් ගැනීමට පෙර රාජකීය වැඩ කටයුතුවල සාර්ථකත්වය පතා ඈතින් පෙනෙන සිල්වත් ශුද්ධවර ජුසේ වාස් මුනිතුමන්ගේ රුව දෙස මොහොතක් බලනු පිණිස උදෑසන ම අවදි වී සදළුතලේ විසු බව කියැවේ.

ජුසේ වාස් මුනිතුමන් ස්වර්ගස්ථ වූයේ ක්‍රි.ව. 1711 ජනවාරි මස 16 වන දින දීය. ඉන් දින තුනකට පසු එතුමන් විසින් සාදන ලද්දාවු ද, (මිසදිටුවන් සත්‍යාගමට හැරවීමේ) සත්‍ය විශ්වාසයට හැරවීමේ අප ස්වාමිදුගේ දෙව්මැදුරේ දී එනම් ක්‍රි .ව. 1711 ජනවාරි මස 19 වන දින එතුමන්ගේ ශ්‍රී දේහය, පූජක වස්ත්‍රයෙන් හා අගනා සේද රෙදි වලින් සරසන ලද මිනිපෙට්ටියක බහා ගෞ. ජාකෝමේ ගොන්සාල්වෙස් සහ අල්මේදා යන පුජාප්‍රසාදිවරුන් විසින් මිහිදන් කරන ලද බව ගෝවේ ඔරතෝරියාන වාර්තාවන්හි සඳහන් වේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ශු. ජුසේ වාස් මුනිතුමා ස්වර්ගස්ථ වූ කල නගරය තුළ වූ දේවස්ථානයේ එතුමන්ගේ ශ්‍රී දේහය මිහිදන් කරන්නට දෙන්නේ එකල පැවැති බෞද්ධ විරෝධතා මධ්‍යයේය. මන්ද කිසිදු භික්ෂුන්වහන්සේ නමකට හෝ, රජෙකු හෝ ප්‍රභූවරයකු හෝ නගර සීමාවේ ආදාහනය හෝ භූමදාන කිරිමට අවසර නොලැබ තිබු අවස්ථාවක දීය.

ජූසේ වාස් මුනිතුමන්ගේ මරණයෙන් සුළු කලක් ගතවු ඉක්බිති එනම් ක්‍රි.ව. 1714 දී එතුමන්ගේ ශ්‍රී දේහය ගෝව පුරයට රැගෙන ගියේ යැයි කටකතාවක් ප්‍රචලිත විය. මෙයින් කැළඹීමට පත් නරේන්ද්‍රසිංහ රජු තම නියෝජිත පිරිසක් දේවස්ථානය වෙත යවමින්. ඔවුන් ඉදිරියේ ජුසේ වාස් මුනිතුමන්ගේ සොහොන විවෘත කරන ලෙස ගෞ. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා බලකළ බවත්, ගෞ. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ද ඔවුන්ගේ බලපෑම මත සොහොන විවෘත කරන්නට අණ දී දේහය සහිත මිනි පෙට්ටියේ පාද කොටස විවෘත කළ විට, ඉන් ඉවතට ගනු ලැබු හොඳ තත්ත්වයෙන් පැවති සපත්තුවක් තුළ පාදයේ ඇටයක් තිබූ බැවින්, පෙර කී කතාව අසත්‍යයක් බව රජුට ප්‍රකාශ කරන ලදී. මන්ද ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ තෙමේ ඉතා කුළුපගු වූ ශු. ජුසේ වාස් මුනිදුන් ඇසුරට පත් කළ අයෙකි. එය එතුමන්ගේ මරණින් වුවද අඩුනොවීය.

ක්‍රි.ව. 1746 දී නායක්කාර් වාංශික පළමු රජු වූ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් උඩරට විසු බෞද්ධයින් සතුටු කරනු වස් ජුසේ වාස් මුනිතුමන් විසින් ඉදිකරන ලද මරියෝත්තමාවන් හට කැපවූ දෙව්මැදුර විනාශ කරන අවස්ථාවේ දී මේ දෙව්විමන විනාශ කරන ලදී. මෙකී දේවස්ථානය ක්‍රි .ව 1699 ප්‍රථම පීඩනයක් හේතුවෙන් විනාශ වුණි . මහනුවර සේවය කළ පියවරුන් අතර ජුසේ වාස් මුනිතුමා හැරුණු විට එතුමන්ට පෙර ස්වර්ගස්ථ වූ ගරු. ජෝශප් කර්වල්හෝ පියතුමා ද, ගරු. පේද්‍රෝ සල්දානා පියතුමා ද, ගරු ඉග්නේෂියස් අල්මේදා පියතුමා ද, ගරු ජාකෝමේ ගොන්සල්වෙස් පියතුමා ද, ගරු ක්‍රිස්ටෝමෝ ෆර්ඩිනැන්ඩස් පියතුමා ද, ගරු දමියාඕ වැලේරියානෝ පියතුමා, යන පියවරු මෙහි දී කැපී පෙනෙයි. ජුසේ වාස් මුනිතුමා විසින් ඉදිකරන ලද්දා වූ ද, එතුමාගේ සිරුර මිහිදන් කළාවු ද, දේවමාතාවන්ට කැපවූ දේවස්ථානය පසු කාලීනව ගෞ. ඉග්නේෂියස් අල්මේදා පියතුමා විසින් අලූත්වැඩියා කරන ලදි.

ක්‍රි .ව. 1699 සැප්තැම්බර් මාසයේ සිට 1746 දක්වා වූ වසර 47 ක් පැවති මහනුවර දේවස්ථානයේ මිහිදන් කරන ලද පියවරුන්

ක්‍රි.ව. 1702 ජුලි 23 වන දින – ගෞ ජෝශප් කර්වල්හෝ පුජාප්‍රසාදීන්වහන්සේ

ක්‍රි.ව. 1711 ජනවාරි 19 වන දින – ශු . ජුසේ වාස් මුනිතුමා

ක්‍රි.ව. 1731 දෙසැම්බර් 05 වන දින – ගෞ. ක්‍රිස්ටමෝ ෆර්ඩිනෑන්ඩර් පුජාප්‍රසාදීන්වහන්සේ

ක්‍රි.ව. 1727 ජුලි 30 වන දින – ගෞ. දමියාඕ වැලේරියානෝ පුජාප්‍රසාදීන්වහන්සේ

මහනුවර දේවස්ථානයේ රැඳී සිටි අවසාන පියතුමන්ලා ලෙස හැඳින්වන්නේ ගෞ. මතියස් රොද්‍රිගස් හා ගෞ. සෙලෙස්තීනු පෙරෙයිරා යන පුජාප්‍රසාදීවරුන් ය.

ක්‍රි. ව. 1746 දී විජය රාජසිංහ රජු විසින් කතෝලිකයන්ට එරෙහිව දියත් කරන ලද පීඩනය හදිසියේ හට ගත් බැවින් මහනුවරින් පිටුවහල් කළ පුජාප්‍රසාදීවරුන්ට ඔවුන් සමග ජුසේ වාස් මුනිතුමන්ගේ මෘතදේහය ගෙන යන්නට ඇද්ද ? එසේ පිටුවහල් කරන ලද පුජාප්‍රසාදීන්වහන්සේලා වන්නි නායකයන්ගේ ආරාධනාවෙන් වන්නියට පැමිණියා නම් ඔවුන් එසේ පැමිණෙද්දී ජුසේ වාස් මුනිතුමන්ගේ ධාතුවක් හෝ රැගෙන ආවා ද? එවැනි ජනප්‍රවාදයක් මන්නාරමේ පරපාන්කන්දල් දේවස්ථානයේ පවතී.

ක්‍රි.ව. 1863 දී දකුණු අනුපදවියේ රදගුරුතුමකු නොමැති වීම නිසා ශුද්ධාසනය විසින් අපෝස්තලික පරිපාලකතුමන් (රදගුරුතුමෙකු පත් වන තෙක් වැඩබලන්නා) ලෙස කාර්මෙල් නිකායික අති උතුම් ගියාචින්ටෝ වැල්ගේරා හිමිපාණෝ ක්‍රි.ව. 1863 සැප්තැම්බර් මස 18 වන දින ක්විලොන් හී සිට දකුණු අනුපදවිය ( කොළඹ ) පිළිබඳව ශුද්ධාසනයට යවන වාර්තාවට අනුව එතුමන් සදහන් කර ඇත්තේ
ක්‍රි.ව. 1863 මාර්තු මස 23 වන දින සිට 30 වන දින දක්වා දින හතක කාලයක් සිය දුතික මෙහෙවර තුළ මහනුවර ප්‍රදේශයේ රැදී සිටි බවත් ඒ දින කීපය තුළ ක්‍රි.ව. 1863 මාර්තු මස 24 වන දින දිවා ආහාරයෙන් පසු දේව සේවක සහ ලංකා අපෝස්තුළුවර ජුසේ වාස් මුනිතුමන් මිහිදන් කර ඇත්තාවු , ඉපැරණි දේවස්ථානය තිබු ස්ථානය බලන්නට ගිය බව සදහන් කර ඇත. ( The Catholic Church in Sri Lanka The British Period , Volume 4, 1856 – 1863, The Vicariates of Colombo & Jaffna, Rev. Fr. V. Perniola S.J. , 2001, Pg – 434) , ( A History of the Apostlate of the Sylvestrine – Benedictine Monks in the Island , part 2 , Rev. Fr. Bede Barcatta O.S.B. , 1994 , Pg – 203 )

මේ අනුව අපට පැහැදිලි වනුයේ ක්‍රි.ව. 1863 තෙක් ජුසේ වාස් මුනිතුමන් මිහිදන් කළ ස්ථානය පිළිබඳව මහනුවර කතෝලිකයන්ගේ මතකයේ රැදී තිබු බවයි. “ලංකාවේ ධර්මදුතයාණන් වූ ජුසේ වාස් පියතුමා” නමින් කෘතිය රචනා කළ එකල නැගෙනහිර ඉන්දීය ප්‍රදේශයේ අපෝස්තලික තානාපතිතුමන් වූ අති උතුම් ලැඩිස්ලාවුස් මයිකල් සැලෙස්කි අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ සිය කෘතියේ පෙරවදන තුළ මෙසේ සදහන් කර ඇත. ” විශ්වාසය ප්‍රචාරය කිරීමේ ශු. සභාවේ සංසදය කීපවරක් ම ලංකාවේ රදගුරු හිමිවරුන් අමතා ජුසේ වාස් පියතුමා මිහිදන් කළ තැන සොයා මේ ගැන කටයුතු කරන මෙන් එතුමන්ලා පොළඹවා ඇත. එසේ හෙයින් මේ කරුණු දේව පිහිටෙන් කෙදිනක හෝ සපල වනු ඇතැ’යි අපි බලාපොරොත්තු වෙමු. ( පිටුව 05)

කෙසේ හෝ ඉහත සදහන් කළ දේවස්ථානය පිළිබඳව ගවේෂණය කිරීමේ දී ජේසු නිකායික ගරු ඇලෝසියස් පිරීස් පියතුමා විසින් සඳහන් කරන්නේ ද දේවස්ථානය පිහිටියේ වර්තමාන මහනුවර පොලිසිය, කටුකැලේ හා පුල්ලෙයාර් කෝවිල ආශ්‍රිත ප්‍රදේශයේ පැවති බවයි.

මහනුවර ජාතික කෞතුකාගාරයේ හිටපු පාලක ගරු සෙනරත් පනාවැන්න මහතා, ජුසේ වාස් මුනිතුමා භුමදානය කළේ මහනුවර පොලිසිය හා මල්ලිකා සේයාරු හල අසල පිහිටි පල්ලියවත්ත නම් ස්ථානයේ බව අවධාරණයෙන් ම ප්‍රකාශ කර සිටියි. මෑත කාලීනව එනම් මීට වසර 12කට පමණ පෙරාතුව මේ අසලින් කිරිගරුඬ කුරුසියක් හමුවිය. මෙය අද ගැටඹේ දේවස්ථාන පරිශ්‍රයේ ඇති ජුසේ වාස් මුනි ප්‍රදර්ශනාගාරයේ ස්ථාපිත කර ඇත. තවද මෑතකදී ඒ අසල ඉපැරණි පුජා භාණ්ඩ කීපයක් ද හමුවූ බවට කතාවක් පවතී.

මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පවසන්නේ මීට වඩා වෙනත් මතයකි. 1963 දී මහනුවර නගරයේ ජල සැපයුම සඳහා ජල නල වැළලීමට පොළොව කණින ලද අවස්ථාවේදී යටිනුවර විදීයේ ගුණසේන පොත් හල ඉදිරියේ මතුපිට සිට අඩි 06 ක් පමණ ගැඹුරින් වළලා තිබු සම්පූර්ණ ඇට සැකිල්ලක් හමුවූ බවත් , මේ හා සමග තවත් දිරාපත් ඇටසැකිලි කීපයක් හමුවු අතර ඉහත ඇටසැකිල්ලේ විශේෂත්වය වූයේ එය අඟල් 2 ක් පමණ වූ ඝණ කොස් ලෑලි පෙට්ටියක බහා තිබීමයි. එසේ තිබු තෙතමනය හා දියසීරාව මධ්‍යයේ පවා බහාලුම සුරක්ෂිතව තිබු බවත්. එහි භාරකාරත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වූ බැවින්, එකල සිටි පුරාවිද්‍යා කොමසාරිස් තුමාගේ නියෝගයෙන් ඇටසැකිල්ල උඩවත්තකැලය පාමුල මිහිදන් කළ බවත්, බහාලුම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගත් බවත් සඳහන් වේ.

මහාචාර්ය නිමල් ද සිල්වා පවසා සිටින්නේ මේ ඇටසැකිල්ල ජුසේ වාස් මුනිතුමන්ගේ බවත්, සෙසු ඇටසැකිලි එතුමන්ට පෙර ස්වර්ස්ථ වූ ජෝශප් කර්වල්හෝ පුජාප්‍රසාදීන්වහන්සේගේ සහ එතුමන්ලාට පසුව ස්වර්ගස්ථ වූ සෙසු ගෝවේ ඔරතෝරියාන නිකායික පුජාප්‍රසාදීන්වහන්සේලාගේ බවයි. දකුණේ කතෝලික ජනශ්‍රැතියට අනුව ඔවුන්ගේ පවුල් වලින් පැවත එන ජනප්‍රවාදයන් අනුව මහනුවර ආසන දෙව්මැදුර පිටුපස පිහිටා ඇති මුස්ලිම් පල්ලියේ (Kandy Grand Mosque) පුද සත්කාර ලබන සොහොනේ බවට පිළිගෙන ඇත. මන්ද වන්දනාවට භාජනය වූ සොහොන් මත අල්තාර ඉදිකිරිම මුස්ලිම් බැතිමතුන්ගේ සිරිතක් ව පවති. අදටත් ඒ ස්ථානයේ හාස්කම් සිදුවන බව මුස්ලිම් බැතිමත්හු පවසා සිටින බවයි. නමුත් ඓතිහාසික තොරතුරු සහ ලේඛන වාර්තා පිරික්සීමේදී මේ අනුව ජුසේ වාස් මුනිතුමන් විසින් ඉදිකරන ලද දේවස්ථානය සහ එතුමන්ගේ සිරුර මිහිදන් කළ සොහොන ගැබ පිහිටියේ වර්තමාන මහනුවර පොලිසිය, කටුකැලේ හා පුල්ලෙයාර් කෝවිල ආශ්‍රිත ප්‍රදේශයේ බව අවධාරණයෙන් ප්‍රකාශ කළ හැක. මෙලෙස ලංකා අපෝස්තුළුවරයාණන් කොතැන මිහිදන් කළේ දැයි? අද ප්‍රශ්නයක්ව පවති. පුරාවිද්‍යා සාධක හා වියත් මත රාශියක් ඒ හා සමගාමිව ඉදිරිපත් කර ඇති හෙයින් විශේෂ කොට සියලු ආගමිකයින්ට ගෞරව කරමින් ජුසේ වාස් මුනිතුමාගේ දේහය සෙවීමට වූ කැණීම් කටයුතු අද අත්හැර දමා ඇති බව ද ප්‍රකාශ කළ යුතු වන්නේය.

එනමුදු එතුමන්ගේ සුදුවර , දැහැමි දිවිය, ජ්වලිත ධර්මදුතික මෙහෙවර සහ ආත්මයන් සොයා යෑමේ පිපාසය උදෙසා දෙවිදුන්ට තුති පුදමින්, අප ද එතුමන් මෙන් සමිදුන්ගේ හඩට සවන් දෙන වචනයේ සේවකයන් ලෙස දිවි ගෙවන්නට අවැසි වරම් පතා සිටිමු.

සටහන – අසේල දසනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 2 =

Back to top button