කිතුනු

මහා සාගරයේ පතුලේ බැබළෙන අපූරු ක්‍රිස්තු ප්‍රතිමා

මහා සාගර ගැඹරේ ජලය යට බැබළෙන ක්‍රිස්තු ප්‍රතිමා ලොව කොහේ තිබෙනවා යැයි ඔබ මීට කලින් දැන සිටියා ද.?

ක්‍රිස්තු ප්‍රතිමාවක් යැයි කී පමණින් අපට සිහියට නැගෙන්නේ විරාජමානව වැජඹෙන ක්‍රිස්තුන් වහන්සෙගේ ප්‍රතිමාවක් ගැන ය. සාමාන්‍යයෙන් ක්‍රිස්තු ප්‍රතිමාවක් පමණක් නොව ඕනෑම ප්‍රතිමාවක් ස්ථාපිත කරන්නේ දෙව්මැඳුරක හෝ එළිමහන් ස්ථානයක ය. එහෙත් ගොඩබිම ස්ථාපිත කළ එවැනි ප්‍රතිමාවන්ට සම්පූර්ණයෙන් වෙනස් ක්‍රිස්තු ප්‍රතිමා පිළිබඳව ඔබ අසා තිබේ ද.? මහා සාගර ගැඹරේ ජලය යට බැබළෙන ක්‍රිත්තු ප්‍රතිමා ලොව කොහේ තිබෙනවා යැයි ඔබ මීට කලින් දැන සිටියා ද.?

මහා සාගරයේ පතුලේ බැබළෙන අපූරු ක්‍රිත්තු ප්‍රතිමාවක් ගැන කියැවෙන්නේ ඉතාලියෙනි. ජෙනෝව හි මධ්‍යධරණී මුහුදේ සැන් පෘට්ටුසෝට නුදුරින් කැමෝජ්ලි හා පෝර්ටෝෆිනේ අතර ඉතාලි උප නිවර්තන මුහුදු වෙරළ තීරයට ඈතින් මෙය පිහිටා තිබේ. 1954 අගෝස්තු මස 22 වැනි දා සාගර පත්ලේ තැන්පත් කළ මෙය මීටර් 17 ක් ගැඹුරින් පිහිටා ඇති අතර ප්‍රතිමාවේ උස මීටර් 3 කි. ඉතාලි නාවික හමුදා සහායෙන් මෙය දිය යට සවි කැරිණ.

 

කිමිදුම්කරුවකු වන ඩූලියෝ මාකාන්ටිගේ අදහසකට අනුව මේ ප්‍රතිමාව නිර්මාණය කරනු ලැබුවේ ගයිඩෝ ගල්ලෙට්ටි නමැති මූර්ති ශිල්පියා විසිනි. මහා සාගරයේ කිමිදීම සඳහා යාන්ත්‍රික කිනිදුම් කට්ටල මුල්වරට භාවිතා කළ ඉතාලි කිමිදුම්කරුවකු වන ඩාරියෝ ගොන්සාට්ටි මේ ප්‍රතිමාව ස්ථාපිත කැර ඇති ස්ථානයේ දී මියගියේ 1947 දී ය. මේ ප්‍රතිමාව මගින් ක්‍රිස්තුන් වහන්සේ ජල ගැඹරේ සිටිමින් ලෝකයට සාමය ප්‍රාර්ථනය කරන අන්දම නිරූපනය වේ. උන්වහ්ස්නේගේ දෑත හා හිස ජලයේ සිට ඉහලට එසැවී තිබේ. ධීවරයන්ගේ මෙන්ම කිමිදුම් කරුවන්ගේ මහත් ගරු බුහුමනට ලක්ව ඇති මේ ප්‍රතිමාව ළඟ වාර්ෂිකව මංගල්‍යයක් පැවැත් වේ.

වාර්ෂිකව ජූලි මස අවසානයේ පැවැත්වෙන මේ මංගල උලෙළ සුවිශේෂි ලක්ෂණය වනුයේ දිය යට පැවැත්වෙන පෙරහරයි. ක්‍රිස්තුන් වහන්සේගෙන් වරප්‍රසාද ඉල්ලා සිටීමටත් ලද වරප්‍රසාද වලට තුති පිදීමටත්, එතුමන්ගේ ආරක්ෂාව තුල හා මඟ පෙන්වීම තුල කටයුතු කිරීමට වරම් ඉල්ලා කිමිදුම්කරුවෝ හා ධීවරයෝ මීට සහභාගි වෙති. ජයග්‍රහනය සහ විශිෂ්ටත්වය සංකේතවත් කිරීමට හිස පළඳනා ඔටුනු බඳු වඩම් සෑදීමට ඒ රටේ යොදා ගන්නා “ලව් රල්” නම් විශේෂ ශාක පත්‍ර වර්ගයෙන් සෑදු වඩම් ප්‍රතිමාව පාමුල තැන්පත් කරන්නේ පෙරහරින් යන සැදැහැවතුන් ය.

මධ්‍යම රාත්‍රියට පෙරාතුව මුහුදු වෙරළේ දිව්‍ය පූජාව පවත්වන අතර මේ ස්ථානය බෞතිස්ම ස්නාපනයට මෙන්ම විවාහ මංගලෝත්සවයන් පැවැත්වීමට ද ඉතා ප්‍රකට ය. මේ යෝධ ප්‍රතිමාව කැඩී බිඳී ගිය නැව්වල අබලි ද්‍රව්‍ය, යුද්ධයේ දී දරුවන් මියගිය අයගේ පරිත්‍යාග, මුහුදු අනතුරු වලට ගොදුරු වු අයගේ පවුල් වල අයගේ පරිත්‍යාග, සීනු, ඔලිම්පික් ශුරතා පදක්කම්, ගිනි නිවන භට පදක්කම් ආදිය යොදාගෙන නිමා කැරිණ. සාගරයේ ගමන් කරන අය ආරක්ෂා කිරිමත්, විශේෂයෙන් මධ්‍යධරණි මුහුද කලාපයේ ගැවසෙන ධීවරයන්, කිමිදුම්කරුවන්, පිහිනුම් කරුවන් ඇතුලු නාවිකයන් ආරක්ෂා කර හැනීමටත් එක්තරා විශ්වාසයේ සංකේතයක් ලෙස සාගර පත්ලේ රැදී සිටී.

මේ ප්‍රතිමාව පාමුල අති උත්තම දොලොස්වන පියුස් පාප්තුමන් විසින් එවන ලද විශාල පදක්කමක් ද, ශිලා ලේඛනයක් ද සවිකොට තිබේ. ගෙවී ගිය පනස් වසරකට අධික කාලය පුරා ලක්ෂ විසිපහකට අධික  කිමිදුම්කරුවන් පිරිසක් මෙය නරඹා යාච්ඤා කර නික්ම ගොස් සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − six =