බෞද්ධ

විස්මිත නිර්මාණවලින් විසිතුරු වූ මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරය

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉපැරැණි ගම්මානයක් වන මලිදුව ගම්මානය ඓතිහාසික අගයකින් යුතු ගම්මානයකි.

මකර රුව සෙවණේ ඉදි වූ අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා

ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ කෙටි කලක් භාවනානුයෝගීව මෙම ගම්මානයේ රැඳී සිටි බවත්, උන්වහන්සේ සිහි ගැන්වීම පිණිස ‘මලියදේව‘ යන්න මලියදූව වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. උන්වහන්සේ වැඩසිටියා යැයි සැලකෙන මලිදූව ‘අම්පිටිය’ නමැති ඓතිහාසික පුදබිම බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් ලබමින් පවතින අතර ඉපැරැණි නුග, නා, වම්පර ආදී වෘක්ෂ රාශියකින් සමන්විත මේ පුදබිමේ ඓතිහාසික බව කියා පෑමට පවතින කදිම සාක්ෂි රැසකි. මලිදූව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේ භාරකාරිත්වය යටතේ පවතින මෙම පූජනීය බීමට නුදුරින් ඉපැරැණි මලිදූව ශ්‍රී විජයානන්ද පුදබිම පැවැති අතර එය වර්තමානයේ ‘පාලු පන්සල’ නමින් හඳුන්වයි.

කාලයාගේ ඇවෑමෙන් වල් බිහි වූ එම විහාරස්ථානයට මදක් එපිටට වන්නට කුඩා කඳු ගැටයක් මත වර්තමානයේ ඉදිවී ඇති ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේ ඉතිහාසය පිරික්ෂා බැලීමේ දී එය වසර හාරසියයකට එපිට ඉතිහාසයකට සාක්ෂි සපය යි. මලිදූව වත්ත නොහොත් ‘අලි කෑ හේන’ නමැති විශාල ඉඩමට යාබදව ඉදි වී ඇති මේ පින් බිම ප්‍රදේශයේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික කටයුතුවලදී දක්වන දායකත්වය අතිමහත් ය.

මහනුවර යුගයට අයත් ඉපැරැණි බිති සිතුවමින් අලංකාර වූ ද මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබූ ඉපැරැණි විහාර ගෙය අසූව දශකයේ මුල් භාගය වන විට සහමුලින් ම විනාශයට පත් විය. එසේ විනාශයට පත් වූ විහාරස්ථානයට නුදුරින් 1940 දශකයේ දී දැනට පවතින විහාර මන්දිරය ඉදි වී ඇත. එවකට විහාරාධිපතීත්වය දැරූ වරකාපිටියේ පියරතනාභිධාන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදි කිරීම් කටයුතු ආරම්භ කොට ඇත. 1905 දී ඉන්දියාවේ සිට විහාරස්ථානයට වැඩම කරන ලද ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේ කිරිගරුඬ පිළිම වහන්සේලා ද විහාරස්ථානයේ ඉතිහාසය කියා පෑමට ශේෂව ඇති ඉපැරැණි කෞතුක වස්තූන් ය. 1940 දශකයේ ඉදිකරන ලද දහ අට රියන් සැතපෙන පිළිම වහන්සේ ද විහාර ගෘහයක කලාතුරකින් දැකිය හැකි ය. විශාඛාවගේ, අනේපිඬු සිටුතුමාගේ රුවින් ද අලංකාර වී ඇති විහාර මන්දිරය බොහෝ බොදු දනන්ගේ වන්දනා මානයට පාත්‍ර වේ.

දෙමහල් ධර්ම මන්දිරය

 

විහාරස්ථානයේ පසෙකින් ඉදිවී ඇති සතර දේවාල මන්දිරයත්, වයස කිව නොහැකි බෝධි වෘක්ෂයත් පුණ්‍ය භූමියේ ප්‍රෞඪ බව වැඩිකරලීමට සමත් වී ඇත. මෙවන් දර්ශනීය විහාරස්ථානයක් ඉදි කරලීමට මෙහි විහාරාධිපති ධූරයන් දැරූ අපවත් වී වදාළ හිග්ගොඩ දේවානන්ද හා ශාස්ත්‍රපති බෝපිටියේ විමලවංශ ලොකු හාමුදුරුවන් වහන්සේලා ගත් අප්‍රතිහත කැපවීමේ ප්‍රතිඵල ලෙස වර්තමානයේ පවතින විහාර සංවර්ධන කටයුතු සිදුව ඇත.

විශේෂයෙන්ම මීට පස් වසකට පෙර අපවත්වී වදාළ ශාස්ත්‍රපති බෝපිටියේ විමලවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් ඇරැඹි විහාර සංවර්ධනයේ සුවිසල් ම කාර්යභාරය සිදු කරන්නේ වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති මලිදුව අමරවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් විස්මිත නිර්මාණ කිහිපයක් උන්වහන්සේගේ මඟ පෙන්වීම මත විහාරස්ථානයේ ඉදි වී අවසන් ය. ඒවා අතර ලංකාවේ මෙතෙක් දැකිය හැකි සුවිසල්ම මකර රාජයකු සෙවණේ අඩි 150 දිගැති අසූ මහා ශ්‍රාවක පෙරහර

අව්කන බුදුරුවේ අනුරුව

දෙමහල් ධර්ම මන්දිරය

දකුණේ ඉදි වී ඇති තුන්වන උමං විහාරය

පිටමාලයේ නිර්මාණය කරන ලද පොහොය වරුණ.

භික්ෂු විවේකාශ්‍රම ඉන් කිහිපයකි.

මෙසේ ඉදිකරන ලද්දා වූ මෙම විහාරාංග විවෘත කිරීම 2018 දෙසැම්බර් 23 වන දින පෙරවරුවේ සිදු කිරීමට නියමිත ය. ඒ නිමිත්තෙන් දෙසැම්බර් 23 වන දා තුන්වේලේ පිරිත් පින්කම ආරම්භ වී 25 වන දින දවල් සියක් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සඳහා කටයුතු යොදා ඇත. දෙසැම්බර් 25 වන දින සිට 2019 ජනවාරි 01 වන දින දක්වා අටවිසි පූජා, අසූමහා ශ්‍රාවක පුජා හා බෝධි පූජා, දේව පූජා ආදී පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සතර පේරුවේ දායක කාරකාදීන් මෙන්ම ශ්‍රී විජයානන්ද දහම් පාසල, විහාරාධිකාරී ලබුහේන්ගොඩ සුගතවංශ පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේ දක්වන දායකත්වය අතිමහත් ය. සුවිසල් ලෝක ශාසන සේවාවක් සිදුකරන්නා වූ මලිදූව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානය බොදු බැතිමතුන්ගේ වන්දනයට පාත්‍ර වූ උතුම් පින් බිමකි.


සුමිත් ලියනගුණවර්ධන
මලිදූව – අකුරැස්ස

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eight =